පළාත් ඡන්දයේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවතට


ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වීමට ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද (08) තීරණය කළේය.

පෞද්ගලික හේතු මත නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු කීවේය.

ඒ අනුව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 28 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමට අධිකරණය තීන්දු කළේය.

එම්.එච්.හෂීස් මොහොමඩ් ඇතුළු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන ආයතන වල හිටපු සභාපති වරුන් හා නියෝජ්‍ය සභාපතිවරුන් 18 දෙනෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයින් ,පළාත් පාලන ඇමතිවරයා , නීතිපතිවරයා ඇතුළු  29 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්.රාජරත්නම් මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා , ෆයිස් මුස්තාපා සහ නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් පෙනී සිටියහ.