ඌව හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද (31) නිට්ටඹුවේදී ජන සටන පාද යාත්‍රාවට එක්විය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අද පාද යාත්‍රාවට පැමිණි බවක් දක්නට නොලැබිණි. සෙනසුරාදා ද ඔහු සහභාගි වූයේ නැත.
අද නිට්ටඹුවෙන් පෙරවරු 10.10ට පමණ පාද යාත්‍රාව අරඹමින් මහින්ද පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූයේ පාද යාත්‍රාව නතර කිරීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බවත් පොලිස්පති කෙලින් වැඩ කරන බව කියනවානම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ලෙසයි.
‘රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා‘ යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාද යාත්‍රාව අවසානයේ පවත්වන රැලිය සඳහා මෙම පිටිය වෙන් කර ගත් බවද ඔහු කීවේය. මේ වන විට පාද යාත්‍රාව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ආසන්නය ළඟා වෙමින් පවතී.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද