පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි


(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

පැරීසියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (27) අළුයම පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ගමන්මළු තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා, පුද්ගලික බඩු ලෙස හඟවමින් රේගුවට ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මඟීන් සඳහා වන හරිත මාර්ගයේ රත්තරන් ග්‍රෑම් 2414.6 ක ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ බවත් අත්අඩංගුවට රත්තරන් තොගය රුපියල් 36,219,000  ලෙස තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

වසර 10 පමණ පැරිසියේ සේවය කර ඇති සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

මෙම රත්තරන් තොගය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන පවත්වා රත්තරන් තොගය රාජසන්තක කර දඩ පැනවීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල රාජකාරියේ නියුතු නිලධාරීන් කටයුතු කිරීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.