පෙම් මාවතක වසර තිහක්.... 'ජීවන් ෂෙරීන්'


2016-08-07-ent-21

ලංකාවේ සුන්දර කාන්තාවන් ගැන කතා කිරීමේ දී ඇය ගැනත් කතා කළ යුතුම සුන්දර කාන්තාවකි. බොහෝ විට බාහිර සමාජයට ඇය වඩා සුන්දර බාහිර ස්වරූපය නිසා විය හැකිය. නමුත් ඇයගේ යහළු යෙහෙළියනට නම් ඇයගේ බාහිර පෙනුමට වඩා සුන්දර ඇයගේ ඇතුළාන්තය යැයි කිව හැකිය. ඒ කියන්නේ බාහිර ස්වරූපයෙන් වගේම ඇතුළාන්තයෙන්ද ඇය හැඩකාර චරිතයක් වගෙයි. ඇය කවුදැයි කියා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඇය ෂෙරීන් කුමාරණතුංග. හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජනප‍්‍රිය සිනමා තරුවක් වන ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ ඇයයි. පසුගියදා මේ යුවළ විවාහ සංවත්සර උළෙලක් පැවැත්වුවේ යළිත් මනාලියක සහ මනාලයකු ලෙස හැඩ වීමෙනුයි. ඉතින් එදා නම් මේ දෙන්නගේ යාළු මිත‍්‍රයන් හැමෝම කිව්වේ මේ දෙන්නා අතීතයේ විවාහ දින හිටියාටත් වඩා මෙදා හරිම ලස්සනයි කියලයි. දියණියන් දෙදෙනෙකු සිටින මේ දෙදෙනාගේ එක් දියණියක් විවාහ වී සිටින වගත් රහසක් නෙවෙයි. ඒ දීග ගිය දියණිය මෙන්ම අනෙක් දියණියටත් වඩා තරුණ සුන්දර පෙනුමක් ඇති ෂෙරීන් මේ තරම් හැඩ වුණේ කොහොමද?

 

ෂෙරීන් කොහොමද විස්තර?

සතුටින්, සුපුරුදු සාමාන්‍ය විදියට දවස ගෙවනවා. ජීවන් ටෙලිනාට්‍ය කීපයකට දායක වෙමින් සිටින අතරේ, තවමත් මොරටුවෙ ජනතාව වෙනුවෙන් එයා හැකි විදියට සමාජ කටයුතුවලට දායකත්වය ලබා දෙනවා. මම ඉතින් ගෙදර වැඩවල යෙදෙනවා.

 

ඇයි පසුගිය දිනවල ජීවන් වඩාත් නිහඬව හිටියෙ?

ඇත්තටම පසුගිය දිනවලදී හදිසි සැත්කමකට මුහුණ දෙන්න සිදුවුණා. වෛද්‍යවරු කියලා තිබුණෙ එය ඉක්මණට කරන්න කියලයි. නමුත් එයා වෙනුවෙන් කැප වූ ඡුන්ද දායක ජනතාව අතරමං කරන්න එයාට අවශ්‍ය වුණේ නැහැ. ඒත් මගේ බලපෑම් නිසාම, ඡුන්දයට පෙර එයාට ශල්‍යකර්මයට මුහුණ දෙන්න සිදුවුණා. අද එයා මන්ත‍්‍රී නොවුනත්, ජනතාවට හැකි විදියට සේවය කරන්න කැප වෙනවා. මං හිතන්නේ ජනතා සේවයට සමීප වූ කෙනෙකුට එයින් ඈත් වීම කළ නොහැකි දෙයක්.

ඇයි ෂෙරීන් රූ රැජින තරගවලට මෙච්චර ආස කරන්නේ. ඔබ සහ සංගීතා නිතරම රූ රැජින තරග සංවිධානය කිරීමට එක් වෙනවා.

කොහොමටත් මම ලස්සනට ඉන්න ආසයි. අවුරුදු හතරකට විතර පෙරදී සංගීතා මට මේ රූ රැජින වැඩ සටහන්වලට කතා කළා. ඒ ගැන කිසිම උනන්දුවක් මට තිබුණෙ නැහැ. මම නිතරම ගෙදර ඉන්න ආසා කෙනෙක්. ඒත් එක් වතාවකදී රූ රැජින තරග සංවිධානයට එක් වුණාම මට ලොකු උනන්දුවක් ඇති වුණා. මේ රටේ ලස්සන ළමයෙක් ජාත්‍යන්තරයට යවන්න ඇත්නම් කියන සංකල්පය ආවා. ලස්සන ළමයින්ට පුහුණුව දෙන විට එයාලගෙ දක්ෂතා දකින විට ලංකාවට ජාත්‍යන්තරව ජයක් ගෙන ඒමට හැකි බව තේරුණා. මේ විදියට රූ රැජින තරග සංවිධානය කරමින් සුළු ටිකට් ප‍්‍රමාණයක් අලෙවි කළා. එයින් ලද මුදල් පිළිකා රෝහලට වකුගඩු රෝගි අරමුදලට ඒ වගේම පිට පළාත්වල සුබ සාධනයට යොමු කළා. මේ වැඬේට අපට බොහෝ දෙනා උදව් කරනවා. ඒ අතරින් ධනංජය බණ්ඩාරවත් මතක් කරන්නම ඕනෑ.

 

2016-08-07-ent-27

 

මේවායේ යටි අරමුණ ඔබ දේශපාලනයට ඒමද?

අපෝ නැහැ. සමාජ සත්කාරයේ යෙදෙන්නෙ නිහඬවයි. ඒ වෙනුවෙන් දේශපාලනයට එන්න ඕනෑ නැහැ.

 

පසුගියදා ඔබ 30 වැනි විවාහ සංවත්සරය මහ ඉහළින් සැමරුවා නේද? ඇයි එහෙම කරන්න හිතුණෙ.?

පසුගිය 29 වැනි විවාහ සැමරුම් දිනයේදී ජීවන් එක්ක මම කතා කරමින් සිටි වෙලාවක, එදා අපේ මංගල ඡුායාරූපය වගේ එකක් 30 වැනි සංවත්සරයේදී ගන්න ඇත්නම් කියලා මම කිව්වා. මේ වෙලාවේ එතැන හිටපු සංගීතා, ධනංජය මගේ දියණියන් සහ ඥාති බොහෝ දෙනා ඒක හොඳ අදහසක්නෙ කිව්වා. ජීවන් නම්, ඒක එච්චර ගාණකට ගත්තෙ නැහැ.

ධනංජය එදා කිව්වේ ”මම ලස්සනට හැඩ කරන්නම්” කියලයි. එයා ඒක කළා. අන්තිමට එදා වසර 30 කට පෙර අපේ විවාහ උත්සවය පැවැත්වු ඉන්ටකොන්ටිනෙන්ටල් (අද කිංස්බරි) හෝටලයේදී අපේ යාළු හිතමිත‍්‍රාදීන් පිරිවරා ගෙන ලස්සන මොහොතක් පිළියෙළ වුණා. ජීවන්ව පුදුම කරවන්න දෙයකුත් සිද්ධ වුණා.

 

ඒ මොකක්ද?

එයා මෙතෙක් රඟපෑ චරිත සියල්ල කොටස් ලෙස එකතු කරලා එය ප‍්‍රදර්ශනය කළා. අන්තිමට එය ඉවර වුණේ අපේ නිළි රැුජින මාලිනි සහ ප‍්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණියගේ කොටසකින්. එය ඇත්තටම හරි අපුරු අවස්ථාවක් බවට පත් වුණා.

 

එක අතකට දැන් මේවා නිකං විලාසිතාවක් බවට පත්වෙලා නේද?

ඇත්තටම එහෙම නැහැ. මීට කළිනුත් මේ විදියට විවාහ සංවත්සර පැවැත්වුණා. නමුත් අද තරමට සමාජ වෙබ් අඩවි වගේ දේ නොතිබුණ නිසා, ඒවා එතරම් ප‍්‍රකට වුණේ නැහැ. අද ජනප‍්‍රිය නොවන සාමාන්‍ය කෙනෙක්ගේ ඕනෑම උත්සවයක අවස්ථා ෆේස්බුක් එකේ දැක ගන්න පුළුවනි. නැත්නම් වෙබ් අඩවිවල දැක ගන්න පුළුවනි. කොයි හැටි වෙතත් ඒක එහෙම සැමරීම අහිංසක සුන්දර චේතනාවක්. ජීවන්ටයි මටයි හෙට අනිද්දා දිනෙක වසර 50 ක මංගල සැමරුම් උත්සවයකට ආරාධනා ලැබී තිබෙනවා. ඉතින් ඒක කොච්චර හොඳ ද බලන්න.

 

ගෙවී ගිය, අවුරුදු 30, ඔබ දකින්නෙ කොහොමද?

එය මල් මාවතක් ඔස්සේ ගිය ගමනක් නොවෙයි. හැබැයි මට මේ වගේ සැමියෙක් ලැබීම ගැන බොහෝම අඩම්බර වෙනවා. අපි දෙන්නා රණ්ඩු කර ගන්න අවස්ථා තියෙනවා. ළමයි නිසා වාද විවාද කරගත්ත අවස්ථා තියෙනවා. ප‍්‍රශ්න එක්ක නමුත් ඒවා කතා කරලා විසඳ ගන්න පුළුවන් වුණා. අද ජීවන් එදාට වඩා මුහුකුරා ගිය කෙනෙක් වුණත්, අදත් මා දකින්නේ එදා මට හමු වූ ජීවන්ම තමයි. ඒ බැඳීම ඇත්තටම සුන්දරයි.

 

සඳුන් ගමගේ 

 

sandalla

 

2016-08-07-ent-28
2016-08-07-ent-26
2016-08-07-ent-25
2016-08-07-ent-24
2016-08-07-ent-23
2016-08-07-ent-22