පොලිස් කතගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් පරික්ෂකට වැඩ වරදීද?


(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)

විරෝධතාවේ පා ගමනක නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසට බලකරමින් පොලිස් පරීක්ෂකවරයකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ දී පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ආවේග ශීලි ලෙස හැසිරිම සම්බන්ධයෙන්  සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මුලස්ථානය කියයි.

උසස් පොලිස් නිලධාරියකු පොලිස් කාන්තාවනට ප්‍රසිද්ධියේ සිදුකරන මෙම හිරිහැරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා මෙම සිද්ධිය හෙළ දකිමින් විවිධ පුද්ගලයන් පොලිසියට දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් පානදුර සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එම විමර්ශනයේ හෙළි වන කරුණු අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවන් දෙදෙනා එක් කාන්තාවක් පොලිස් ජිප් රථය වෙත තල්ලු කරමින්, ඇය අත්අඩංගුවට ගන්නා ලෙසට කෑ ගසමින් අසල රාජාකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපස්වරියන් දෙදෙනාගේ ගෙලින් අල්ලා ඔවුන් ඒ දෙසට තල්ලු කරන අයුරු සාමාජ මාධ්‍යවල ප්‍රචාරය වි තිබුණි.