බදු වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 28 විභාගයට


ඉකුත් මැයි 01 වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කළ වැට් බද්ද , ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු සියලූ බදු අයකිරීම් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි 28 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීරණය කළේය.

ඊවා වනසුන්දර , ප‍්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදරියෙහි පෙත්සම කැඳවන ලදී.

නීතීඥ සී.ලියනාරච්චි මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

දුරකථන සේවා වලට අදාළව සියයට දෙකක ජාතිය ගොඩනැඟීමේ බද්දක් සහ සියයට පහළොවක බද්දක් අය කිරීමට යන බව පෙත්සම්කාර නීතීඥවරයා සිය පෙත්සමින් දන්වා ඇත.