බස්ගාස්තු ගැන තීන්දුව ඉදිරි කැබිනට් රැස්වීමෙන් පසු


ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය පිළිබඳව තීන්දුවක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.

ජනපති නිල නිවසේ පැවැති පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය.

බස් ගාස්තු සංශෝධනය සඳහා පත්කරන ලද විද්වත් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයන්ට ද අවස්ථාවක් ලබාදෙන බව ද ජනපති පැවසීය.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයේදී  ගනු ලබන තීරණය ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

එමෙන්ම ජාතික ප්‍රවාහන කොමිසන් සභාවෙන් හෝ වෙනත් කිසිදු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියක් විසින් නැවත දැනුම් දෙනතුරු පෞද්ගලික බස් රථ සඳහා නව මාර්ග බලපත්‍ර නිකුත් නොකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ පළාත් ප්‍රවාහන අමාත්‍යවරු ද නිලධාරීහු පිරිසක් ද එම සාකච්ඡාවට එක්වූහ.