බැසිල්ට රට යන්න බෑ : බර ඇපයක් නියම වේ


රුපියල් කෝටි 5කට මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මුදා හරිනු ලැබීය.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙස නියෝග කළාය.

සෑම මසකම අවසන් ඉරු දින උදේ නවයත් 12ත් අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනකු සහ ගෘහ නිර්මාණ ශිල්පියකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු දැන් ඇප පිට සිටිති.

උසාවියට ඇතුළු වීමට දේශපාලනඥයන්ට සම්පූර්ණ නිදහස තිබූ නමුත් මාධ්‍යවේදීනට සිය රාජකාරිය කිරීමට පොලිස් අධිකාරී ඉඩ නොදුන්නේය. මෙම සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹින්ද මාධ්‍යවේදීහු ගොස් සිටියහ. 

පොලිස් අධිකාරී සුදත් මාසිංහ උසාවිය ඇතුළට මාධ්‍යවේදීන්ට යාමට අවසර නොදීම හේතුවෙන් උසාවියේ සිදුවූ දේ නිසියාකාරව වාර්තා කිරීමට ඔවුනට නොහැකි විය.

නඩුව ජූලි 18 වැනිදාට කල් තැබිණි.