බුද්ධිමය දේපල නඩු දෙකකට දෙන්නකුට වරෙන්තු


‘මේ දෑස කුමටද?‘, ‘රතුමකරා‘ සහ ‘අපරාධය සහ දඬුවම‘ යන චිත්‍රපට ව්‍යාජ ලෙස පිටපත් කර අලෙවි කළැයි චෝදනා ලැබ සිටින චිත්‍රපට සංරක්ෂකවරයකු වූ හේමප්‍රිය කණ්ඩම්බි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කළේය.

එම චිත්‍රපටවල අයිතිය හිමි තිස්ස නාගොඩවිතාන මහතා කළ පැමිණිල්ලක් අනුව නඩුව විභාග වේ.

මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ‘ කෘතිය අනවසරයෙන් මුද්‍රණය කර බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කළැයි අධිකරණයෙන් දඬුවම් නියම වූ ව්‍යාපාරික මංජුල කීර්ති අබේසේකර අත්අඩංගුවට ගන්නැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

ඔහු වරද පිළිගැනීමෙන් පසු අධිකරණය වසර 10කට අත්හිටවූ මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 25000ක දඩයක් නියම කැර තිබිණි.