මහකනදරාවේ වැලි ව්‍යාපෘතියක් පරිසරය වනසයි


(උපුල් හේරත්)

මහකනදරාව වැව් රක්ෂිතයට යාබදව පිහිටි ඉඩමක වැලි පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම නිසා විශාල පාරිසරික හානියක්  සිදුව ඇති බව අඹගහවෙල ගම්වාසීහු පවසති.

මිහින්තලේ,අඹගහවෙල,ගමට යාබදව ඇති මහකනදරාව වැවි රක්ෂිතයට නුදුරින් පිහිටි ඉඩමක වැලි පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් මෙසේ ආරම්භ කර ඇත.

මේ පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්  කළ විමසීමක දී කියා සිටියේ ,වාරි මාර්ග දෙපාර්තමේන්තුව ,ගොවි ජන සේවා කොමසාරිස් කාර්යාලය ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,මධ්‍යම පරිසර අධිකාරිය , හා ඊට අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ගෙන වාර්ෂික බදු බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි .

අනුරාධපුර වාරි ඉංජිනේරු ලසිදු කොටවිල ආරච්චි මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ ,එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තම ආයතනයේ නිලධාරීන් දෙදෙනකු යොදවා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි .

ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙවැනි අදහසකි .

මහකන්දරාව වැව රක්ෂිතයට නුදුරින් පිහිටි ඉඩමේ කෘෂි පාරවල් ,වේලි යන දෑ විනාශ කර ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන්  පැමිණිල්ලක් ලැබුණා. ඒ අනුව මූලික පරීක්ෂණ ආරම්භ කළා. අප ආයතනයේ නිලධාරින්ගෙන් ලැබුණු වාර්තාවට අනුව එහි හානියක් සිදුව ඇති බවට වාර්තා වෙනවා. ඒ පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,පතල් හා භූ විද්‍යා කැනීම් ඒකකයටත් වාර්තාවක් මගින් දැනුම් දෙන බව කොමසාරිස්වරයා සඳහන් කළේය.