මහනුවර අධිවේගීයේ කොටසක් නුදුරේදීම ජනතා අයිතියට


(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත.

කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ආ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් සමන්විත වන අතර ,මීරිගම ,නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුර කෙහෙල් ඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

ඉකුත් 2017 වසරේදී වැඩ ආරම්භ කරන ලද මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා දේශීය බැංකු ණය අරමුදල් යටතේ රුපියල් කෝටි 13,700 ක පමණ මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා විවෘත කෙරෙන්නේ එහි දෙවැනි අදියර බව බව ඔහු කීවේය . කඩවත සිට මීරිගම දක්වා කොටස එහි පළමු අදියර වන අතර ,එහි දිග කි මී 37.09ක් වේ.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස එහි තෙවන අදියර වන අතර, එහි දිග කිලෝමීටර් 32.5 ක් වේ. එම අදියර දෙකේ කටයුතු ලබන 2024 දී නිම කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

(ඡායාරූප සැපයුම පුෂ්පකුමාර මල්ලවාරච්චි)