මැතිසබා මාධ්‍ය බත්පතේ ගෝනි නූල්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට අද (23) දහවල්   බත් සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක්  හමුවිය.

මාධ්‍යවේදියකු   ආහාර ගනිද්දී ඔහුට මෙම ගෝනි නූල හමු වීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි  නූල  ඔවුන්ට බාරදී ඇත.

හාල්මැස්සන් බැදුමේ තිබී  ගෝනි නූල හමුවීමෙන් පසුව සමහර මාධ්‍යවේදීහු ඒ මොහොතේම ආහාර ගැනීම නවතා දැමූහ.

මේ අතර පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින්  පිළුණු රස දැනුණු බව  ඔවුහු සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන් ප්ලාස්ටික් කැබලි තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙරද  වරින් වර සොයා ගැනිණ.

මේ අතර පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් පෙරේදා(22) සැපයුණු මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක්  දැඩි ලෙස රෝගාතුරව නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන් රෝහල කරා රැගෙන ගියේ ගිලන් රථයකිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු  මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.