මිනිස්සුන්ට දැන් අඬඅඬා ඉන්න වෙලාවක් නැහැ.. රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ


2016-06-16-ent-54

මෙරට සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම පැතිකඩක් විවර කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටම ඔබින ගීත නිර්මාණය කරන ඔහු ඉරාජ් වීරරත්නය. ඔහුගේ කලා කටයුතු පිළිබඳව පැවසීමට "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

2016-06-16-ent-55අලුත් තොරතුරු මොනවාද?

මේ දිනවල අලුතින් ගීතයක් කරගෙන යනවා. ඊළඟ මාසෙදි විතර එය එළිදක්වන්න ඉන්නෙ. ඒ ගීතය තමයි "විසේ කුරුට්ටා." එහි මියුසික් වීඩියෝව මේ දවස්වල නිර්මාණය කරනවා. ඉන්දියාවේ බොලිවුඩ් මාර්කට් එකට මියුසික් වීඩියෝවක් එළිදක්වනවා. ජනප්‍රිය ගායිකා නේහා කාර්කා එක්ක තමයි මේ ගීතය කරන්නෙ.

 

බොහෝ දෙනා දැන් අන්තර්ජාතික මට්ටම යන්න උත්සාහ කරනවා. මේ පිළිබඳව ඔබ කොහොමද දකින්නෙ?

ඒක තමයි වෙන්න ඕන දේ. හැමදාම අඬන ගීත කලාව සහ රිගින් ටෝන් ගීත කලාවෙන් එහාට ගිහින් මෙවැනි දෙයක් කරන්න හිතන එකත් බොහොම හොඳයි. ඉස්සෙල්ලා ගීතවලට එළියෙදි තරගයක් ලබාදෙන්න ඕනි. ඒවා තමයි ලෝකෙට යන්නෙ.

 

රිගින් ටෝන් කලාව ගායක ගායිකාවන්ට වැඩක් නැති දෙයක්ද?

තේරුමක් නැති දෙයක් නෙමෙයි. බිස්නස්කාරයෝ ඇවිල්ලා සංගීතය විනාශය කරලා තියෙන්නෙ. ගොඩක් රිගින් ටෝන්වලට යන කලාකරුවෝ මුදල් හිඟ තත්ත්වය උඩ කරනවා මිසක්, කැමැත්තෙන් කරන්නෙ නැහැ. ඒ නිසා ඒක බිස්නස් එකක් වෙලා. හැදෙන්නේ එකම සිංදු එකම තාලේ තියෙන ඒවා. මියුසික් වීඩියොත් එකම විදිහට යන්නෙ. ලංකාවෙ වෙඩින් එකක්, පාර්ටි එකක් තිබුණොත් නටන්න පුළුවන් ගීතයක් හැදෙන්නෙ නැහැ.

 

එකම තාලය, එකම රැල්ල යන දේ තුළ ගීත බිහිවන ප්‍රමාණය වැඩිවෙලාද?

ඔව්, දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සංගීත සංදර්ශනවලට ගියාම අපට පේනවා කලාකරුවෝ ඇවිත් අඬන සිංදු කියනවා. අපි නටන සිංදුවක් කිව්වාම ඒකට කෑගහලා නටනකොට තේරෙනවා මිනිසුන්ට මොකක්ද ඕනේ කියලා. මිනිස්සුන්ට දැන් විනෝදයයි ඕනේ. දැන් අඬඅඬා ඉන්න වෙලාවක් නැහැ. මොකද රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ.

 

"විසේ කුරුට්ටා" කියන ගීතය සිංහල සහ දෙමළ භාෂාවෙනුත් ගායනා වෙනවා?

එහි දෙමළ භාෂාවෙන් ගායනා කරන්නේ කිෂාන් විසින්. ඔහු රැප් ගායකයෙක්.

 

මේ සඳහා දායක වූ අනෙක් අය?

නියෝ, කිෂාන් සහ ඒකේ රැප් කරනවා අලුත් රැප් ගායකයෙක්. ඒ ගීතයට මම නවකයන් බොහෝ දෙනෙක් යොදා ගත්තා.

 

ඇයි නවයකන්ව ඔබගේ ගීත සඳහා දායක කරගනු ලබන්නේ?

නවකයන් අද ගොඩක් ඉන්නවා. ඒ අයගේ දක්ෂතා දැක්කාම එළියට දාන්න ඕනි. නැත්නම් ඒ අයට ක්ෂේත්‍රයට එන්න විදිහයක් නැහැ. ඉතිං අපි කරන්නෙ ඒ අයට මාර්ගය හදලා දෙනඑක.

 

ඩිලාන් ක්‍රිෂාන්ත