(බිමල් ජයසිංහ)
යුරෝපා රටවල රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරුවන් පැහැර ගැනීමට යොදාගත් ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් සැකකරුගේ මහා පරිමාණ වංචාවට හසුවූ පුද්ගලයන් රැසකගෙන් කීප දෙනෙකු බව පොලිසිය කියයි.
පැහැර ගත් පුද්ගලයා කැනඩාවේ සිටින බවට හඟවමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය විසින් හෝමාගම, ත්රිකුණාමලය, ඇලහැර හා චීන වරාය ආදී ප්රදේශවල පුද්ගලයන් විශාල පිරිසක් රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුගේ මෙම වංචාවට සමීප ඥාතීන් පවා හසුව ඇතැයිද පොලිසිය කියයි.
පිළියන්දල විශ්ව කලාව ප්රදේශයේ නිවසකට ලොරියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම පුතුව පැහැරගෙන ගිය බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්රියාත්මක වූ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ලොරියේ ලියාපදිංචි අංකය ඔස්සේ හා තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.