මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා


මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූහ.

අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලම ඉදි කර තිබුණේ ලෑලි සහ යකඩ දම්වැල්වලිනි. එය කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ඉදි කර තිබුණි. පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති, ඔහුගේ බිරිඳ, නගරසභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

පාලම දම්වැල්වලින් ගැලවී ගියේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිද්දීය. නගරාධිපතිවරයා මෙන්ම බිරිඳ ද තුවාල ලැබූ බව වාර්තා වේ. සෙසු පිරිස අඩි 10 ක් පහළට වැටුණි. පාලම කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(රොයිටර්)