යකා නැටූ යකැදුරන් රිමාන්ඩ්


ශාන්ති කර්මයක් කරද්දී එක්දරු මවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ප‍්‍රධාන යකැදුරු සහ ගෝල කට්ටඬියන් තිදෙනා මේ මස 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කැරිණි.

රිමාන්ඩ් බාරයට පත් වූයේ එම්.එච්. විමලතිස්ස නොහාත් උපුල් තිස්ස(ප‍්‍රධාන යකැදුරු), ඒ.ජී. සුරේස් ප‍්‍රියන්ත අමරසුරිය සහ ඒ.ජී. නිල්ෂාන් උපේෂණය. ඔවුන් අනුරාධපුර නීරාවිය සහ නෙල්ලිකුලම ප‍්‍රදේශ වල පදිංචිකවරුන්ය.

අනුරාධපුර නෙල්ලිකුලමේ දේවාලයකදී ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර රෝගි කාන්තාවගේ කටට දෙහි ගෙඩි කිහිපයක් ඔබා ඇති බවත්  පසුව කාන්තාව සිහිසුන්ව ඇදවැටී මිය ගොස් ඇති බවත් අධිකරණයේ දී කියැවිණි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අනුරාධපුර ඇලයාපත්තුවේ පී.දනූෂිකා තුෂාරි චන්ද්‍රරත්න (36) එක්දරු මවයි.

ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 (මිනී මැරීම) 298 (සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම) යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.