ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කර ඇති බවට සම්මත වී ඇති නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාස 20 න් මුහුදු බඩ කොට්ටාස 11 ක බරවා රෝගය තවමත් සෙමින් පැතිරීමේ අවදානමක් ඇතැයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දේවිකා මෙන්ඩිස් පැවසුවාය.
ඉඳුරුව ,බලපිටිය,අම්බලන්ගොඩ,ගෝනපිනුවල,හික්කඩුව ,රත්ගම .,ගාල්ල මහා නගර සභාව,හබරාදුව ,ඉමදුව ,අක්මීමන හා බෝපේ පෝද්දල යන කොට්ටාසවල මේ පැතිරීම දක්නට ඇති අතර එම කොට්ටාසවලින් 2016 දී රෝගීන් 87 ක් හඳුනා ගත් බවත් එයින් වැඩිම ප්‍රමාණය බලපිටිය කොට්ටාසයෙන් බවත් මෙන්ඩිස් මහත්මිය කීවාය.
බලපිටියේ පසුගිය මාස තුනේදී රාත්‍රී කාලයේ ගෙයින් ගෙට ගොස් නිවැසියන්ගේ ලේ පටල පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් එහිදී 12000 කගේ ලේ පටල පරීක්ෂාකළ අතර එයින් බරවා රෝගීන් 60 ක් හඳුනා ගත් බවත් ඇය සඳහන් කළාය.
ගාල්ල දිසාවේ මුහුදුබඩ ප්‍රදේශවල බරවා පැතිරීමට හේතුවක් වී ඇත්තේ බරවා වාහක මදුරුවන් බෝවීම සඳහා සුදුසු ජලාශ සහ උෂ්ණත්වය වැනි සාධක පැවතීමයි.
ගාල්ල දිසාවේ මෙලෙස බරවා පැතිරීම වැලක්වීමට ප්‍රතිකාරයක් ලෙස 2014 සහ 2015 වසරවල කොට්ටාස 14 ක ජනතාවට බෙහෙත් පෙති දුන්නත් ජනතාව ඒවා පානය කර නැති බවත් හෙළිවූ බව මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.
ගාල්ල දිසාවෙන් බරවා රෝගය තුරන් කිරීම සඳහා අවසන් වතාවට ලබාදෙන ප්‍රතිකාරයක් ලෙස බෙහෙත් පෙති ලබාදීමේ විශේෂ වැඩ සටහනක් ලබන සැප්තැම්බර් 3 සහ 4 ක්‍රියාත්මක කරයි.