ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය ආවරණය වන පරිදි සාගරික විද්‍යා සමීක්ෂණයක් හා මත්ස්‍ය සංචිත තක්සේරුකරණය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් සිදු කිරීමට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයට උපදෙස් දී ඇත.
මෙම ගවේෂණය සඳහා නෝර්වේ හි ධීවර හා කටයුතු සංවර්ධන සහයෝගීතා මධ්‍යස්ථානය සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේදී (නාරා) අද (14) පැවැත්වුණු අතර ඊට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේ (නාරා) හි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න, නෝර්වේ හි ධීවර හා කටයුතු සංවර්ධන සහයෝගීතා මධ්‍යස්ථානයේ උපදේශක ජෙන්ස් ඔටෝ ක්රක්ස්ටැඞ් ඇතුළු ක්ෂේත්රයෝ නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ.
“මීට පෙර මෙවැනි පර්යේෂණයක් කළේ 1978 දී. ලොව අනෙක් රටවල් සාගර හා මත්ස්‍ය සම්පත් පිළිබඳව වසර දෙකෙන් දෙකට පර්යේෂණ සිදු කරනවා. එහෙත් අපේ රටේ දී එහෙම වුණේ නෑ. මෙහි මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා. ඉන් පසු යාත්‍රා පැමිණ දෙසැම්බර් මාසයේදී වැඩ කටයුතු ආරම්භ කරනවා.” යැයි ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පැවසීය