යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි


 


 
රොමේෂ් මධුෂංඛ
 
උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති.


උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරුවල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කර ගම්වල නම් සඳහන් නොකරන ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් උතුරේ පළාත් පාලන නිලධාරීන් සඳහා වූ රැස්වීමකදී පසුගියදා  ප්‍රකාශ කර තිබිණි.


විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් නාම පුවරුවල පළමුව දෙමළ භාෂාව ද දෙවනුව සිංහලයෙන් ද අවසානයට ඉංග්‍රීසි භාෂාවෙන් ද සඳහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කර ඇත.


එම ප්‍රකාශයන්ට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථානවල ග්‍රාම නාම හා ස්ථානීය නාම වෙනස් කර නව පුවරු සැකසීමේ කටයුතු මේ දිනවල පටන්ගෙන තිබේ.


නමුත් එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.


එමෙන්ම යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම යෙදීම කුමන පිළිවෙළකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබාගත යුතුව ඇති බවටත් දිනපතා යාපනයට පැමිණෙන සිංහල බැතිමතුන් ද දැඩි අසීරුතාවයන්ට පත්වන බැවින් අදාළ ගැටලුකාරී තත්වයන් හැකි ඉක්මණින් නිවැරදි කිරීමට උතුරු පළාත් සභාව පියවර ගත යුතු බවටත්ය.