සෞදි අරාබියේ තිදරු මවකට තම පුතු විවාහ කරදෙන බව පවසමින් කිසිදා නොදුටු එහෙත් දුරකතනයෙන් හිතවත්ව සිටි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස බැංකු ගිණුමට බැරකර ගත් බව කියන කාන්තාවක් (64) ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් නිල්මිණී විතාරණ මහත්මිය විසින් ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් කැරිණි.
අම්පාර, ඉගිනියාගල ලිපිනයේ පදිංචි කෝනාර මුදියන්සේලාගේ හීන්මැණිකේ ඇයයි.
අක්කර හතරක කුඹරු ඉඩමක් මිලදී ගැනීමට යැයි පවසමින් සෞදියේ රැකියාව කළ කොලොන්න ප්‍රදේශයේ ගමගේ සුමනාවතීගෙන් අවස්ථා ගණනාවක දී මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව අනාවරණය විය.
පැමිණිලිකාර කාන්තාව මේ වනවිට යළිත් සෞදියේ රැකියාවකට ගොස් සිටිය දී කොලොන්න පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එන්. ද සිල්වා මහතාගේ උපදෙස් අනුව කොස්තාපල් අබේරත්න විසින් විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයේ දී හෙළි වූ කතාව මෙසේ ය.
පැමිණිලිකාර කාන්තාව තිදරු මවකි. 2008 දී ඇගේ සැමියා ඇය හැර ගියේය. 2011දී ඇය සෞදි අරාබියේ රැකියාවකට ගියා ය. එහිදී කේ. එම්. දයාරත්න නැමැති ලාංකිකයෙක් දුරකතනය ඔස්සේ මිතුරු විය. ඔහු කිසිදා දැක නැතත් දෙදෙනා සමීප මිතුරන් වී පේ‍්‍රමවන්තයන් බවට ද පත්විය. දයාරත්න පවසා තිබුණේ ඔහු කැගල්ලේ පදිංචිකරුවෙකු බවයි.
2013 දී දයාරත්න ලංකාවට ආවේය. ඇවිත් නිතර නිතර පැමිණිලිකාරියට දුරකතනයෙන් කතා කරන්නේ ය. දයාරත්නගේ මව යැයි කියූ කාන්තාවක් ද ඇයට නිතර කතා කරමින් තම පුතා විවාහ කරදෙන බවට පොරොන්දු ද දුන්නා ය. කිසි දිනක ජීවමානව නොදුටුවත් කතාවෙන් මේ දෙපාර්ශවය විශ්වාසවන්තයෝ වූහ.
විවිධ වුවමනා එපාකම් වලට මුදල් පවා පැමිණිලිකාරියගෙන් ගෙන්වා ගැනීමට ද මේ අය පසුබට නොවූහ. මීට ටික කලකට පෙර කුඹුරු අක්කර හතරක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නොදුටු නැන්දම්මා දැනුම් දුන් නිසා අම්පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අනාගත නැන්දම්මාගේ ගිණුමකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ඇය බැර කර තිබේ. ඊට පෙර ද අවස්ථා කිහිපයක දී එසේ මුදල් ලබා දි තිබු අතර ලබාදුන් මුළු මුදල ලක්ෂ දහයක් පමණ විය.
එකවර ලක්ෂ පහක මුදල එවීමෙන් පසු පසුගිය වසරේ මැද සිට මේ නොදුටු නැන්දම්මාගේ සහ අනාගත සහකරුගේ දුරකතන අක්‍රීයව තිබේ. කිසිම අයුරකින් ඔවුන් සම්බන්ධ කරගැනීමට පැමිණිලිකාරියට නොහැකිව ඇත.
ඇය සේවය කරන සෞදියේ හාම්පුතුන් බොහොම කරුණාවන්ත පිරිසකි. ඇය පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන ඔවුන් වැඩිපුර මුදලක් ණයට දී ඇය ලංකාවට ඒවා නීතිමය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ගිය වසරේ මැද ලංකාවට පැමිණි ඇය මුලින් ම කොලොන්න පොලීසියේ පැමිණිල්ලක් දැමුවා ය.
කෑගල්ලේ ඉන්නා බව කී නුදුටු අනාගත සහකරුගේ අම්මා හෙවත් ඇගේ අනාගත නැන්දම්මාට මුදල් බැර කළ බැංකු ගිණුමේ තොරතුරු අනුව සැකකාරිය අම්පාරේ ඉන්නා බව හෙළිකර ගැනීමට පොලීසිය සමත් විය. පසව ඇය ඇඹිලිපිටිය සහ කොලොන්න පොලීසි වලට ද කැඳවිනි. පැමිණිලි විභාගයේ දී සල්ලි ගෙවන්නට ඇය පොරොන්දු විය.
ඒ පොරොන්දුවෙන් පසු පැමිණිලිකාරිය නැවත සෞදියේ රැකියාවට ගියා ය. එහෙත් සැකකාරිය පොරොන්දුව ඉටු නොකළාය. වසරක් තිස්සේ පොරොන්දුව කඩ කළ සැකකාරියට කොලොන්න පොලිසියෙන් පැමිණෙන්නැයි දැනුම් දුන්නේ ය.
මුදල් වංචා කිරීම, පොරොන්දු කඩ කිරීම යන චෝදනා යටතේ සැකකාරිය කොලොන්න පොලීසියේ අත්අඩංගුවට පත්විය.