වල්ලපට්ටා ඇද්ද මෝටර් රිය රාජසන්තක වෙයි


බම්බලපිටිය ජයා පාරේ දී බලපත්‍ර රහිතව වල්ලපට්ටා කිලෝ 34 ක් ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන අධිකරණයට  ඉදිරිපත් කැරුණූ මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  නියෝග කළේය.
මෝටර් රථයේ ලියාපදිංචිය පිළිබඳ අධිකරණය සෑහීමකට  පත් නොවීමත් ඊට අදාළ සියලු නීති සිද්ධාන්ත සළකා  බලා  මෙම නියෝගය නිකුත් කැරිණි.
මීට පෙර  අධිකරණය විසින් වල්ලපට්ටා ප්‍රවාහනය කර ළඟ තබා ගැනීමට  අදාළ සැකකරුවන්  හයදෙනෙකුට වරද පිළිගැනීමෙන් පසු  දඩ නියම කැර තිබිණි.
සැකකරුවන් අතර  විදේශ ජාතිකයන් දෙදෙනකු වන බවත් ඔවුනට රුපියල් ලක්ෂය බැගින් ද සෙසු සැකකරුවන්ට රුපියල් පනස්දහස බැගින් ද දඩ නියම කර ඇත.