වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උළෙල මෙවර ගල්කිස්ස මහ හෝටලයේ ‘එම්පයර් බෝල්රූම්’ ශාලාවේදී අද (13) පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම සම්මාන උළෙල මෙවර පැවතියේ 23 වැනි වරට වන අතර ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මණික් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උළෙල පැවැත්විණි.

මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා හිමි සම්මානය www.lankadeepa.lk (ලංකාදීප) වෙබ් අඩවියට හිමි විය.

හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (ඉංග්‍රීසි) සඳහා හිමි සම්මානය හිමි වූයේ www.dailymirror.lk වෙබ් අඩවියටය.

එහි කුසලතා සහතිකය (ඉංග්‍රීසි) www.ft.lk වෙබ් අඩවියට හිමිවිය.

එමෙන්ම හොඳම පරිසර වාර්තාකරණයට හිමි කුසලතා සහතිකය ලංකාදීප පුවත්පතේ රේඛා තරංගනී ‍ ෆොන්සේකා මහත්මියට හිමිවූ අතර, විශේෂ තත්ව යටතේ වාර්තාකරණය සඳහා වූ මහාචාර්ය කේ. කෛලාසපති සම්මානයේ කුසලතා සහතිකය ඉරිදා ලංකාදීප පුවත්පතේ නදීෂා අතුකෝරණ මෙනෙවියට හිමිවිය.

දීර්ඝ කාලයක් පුරා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙමින් විශිෂ්ට සේවාවක් ඉටුකළ මාධ්‍යවේදීන් පස්දෙනෙකු ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන දීර්ඝ සේවා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණි.

මෙරට පුවත්පත් ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට මෙහෙවර උදෙසා මෙවර එලෙස දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, ඒ.ඩී රංජිත් කුමාර, පොන්නයියා මානිකවාසගම්, පී.බී ඉලංගසිංහ යන මහත්වරු සහ චිත්‍රා වීරරත්න, මහත්මිය මෙවර දීර්ඝ සේවා සම්මාන ලැබූහ.

විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශන සඳහා මෙහිදි තවත් සම්මාන රැසක් හිමි විය.‍

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, ඒ.ඩී රංජිත් කුමාර, පොන්නයියා මානිකවාසගම්, පී.බී ඉලංගසිංහ යන මහත්වරු සහ චිත්‍රා වීරරත්න, මහත්ම මහත්මීහු දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලබයි.

ලංකාදීප වෙබ් ප්‍රවෘත්ති කර්තෘ අරුණ ශාන්ත මහතා මෙහිදී සම්මානය ලබාගත් අතර ලංකාදීප ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලංකා ප්‍රදීප් සහ මෘදුකාංග ඉංජිනේරු සහ වෙබ් අඩවි ප්‍රකාශන කළමනාකාර ඉෂාන් ප්‍රනාන්දු යන මහත්වරුද මෙහි වෙති.

ලංකාදීප පුවත්පතේ රේඛා තරංගනී ‍ ෆොන්සේකා මහත්මිය හොඳම පරිසර වාර්තාකරණයට හිමි කුසලතා සහතිකය ලබාගත් අයුරු

වසරේ හොඳම තීරුලිපි රචකයා ලෙස 'බී.ඒ සිරිවර්ධන" සම්මාන ලැබූ දේශය පුවත්පතේ ‘හී සැරය’ තීරු ලිපිය රචනා කරන කපිල කුමාර කාලිංග මහතා වෙනුවට එම පුවත්පතේ චතුර ‍නුවන් පතිරණ මහතා ලබා ගත් අයුරු 

ඉරිදා ලංකාදීප පුවත්පතේ නදීෂා අතුකෝරණ මෙනෙවිය මහාචාර්ය කේ. කෛලාසපති සම්මානයේ කුසලතා සහතිකය ලබාගත් අයුරු

වසරේ හොඳම ගවේෂණශීලි මාධ්‍යවේදී සම්මානය ලැබූ ඩෙලි මිරර් පුවත්පතේ පියුමි ෆොන්සේකා මෙනෙවිය ලබාගත් අයුරු

වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (ඉංග්‍රීසි)  කුසලතා සහතිකය හිමිකරගත් www.ft.lk වෙබ් අඩවිය වෙනුවෙන්   විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලංකා ප්‍රදීප් සහ මෘදුකාංග ඉංජිනේරු සහ වෙබ් අඩවි ප්‍රකාශන කළමනාකාර ඉෂාන් ප්‍රනාන්දු යන මහත්වරු එම සහතිකය ලබාගත් අයුරු. 

වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (ඉංග්‍රීසි) සඳහා හිමි සම්මානය ලබාගත් www.dailymirror.lk වෙබ් අඩවියේ කර්තෘ සුනිල් ජයසිරි මහතා සම්මානය ලබාගත් අයුරු.

වසරේ හොඳම ඡායාරූප මාධවේදියා සන්ඩේ  ටයිම්ස් පුවත්පතේ ඒෂාන් ප්‍රනාන්දු මහතා ලබගත් අයුරු. 

සම්මාන උළෙලට සහභාගී වූ පිරිසෙන් කොටසක්