ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි


( පුෂ්පකුමාර ජයරත්න)

මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.

ඊයේ (8) පෙරවරුවේ සිට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැකගත හැකි විය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන ගොඩනැගිල්ලක් ඉදිකර නියම දළදා වහන්සේ එම ස්ථානයේ සිටින බව පවසමින් ජනතාව රවටමින් මුදල් හා රන් භාණ්ඩ එකතු කිරීමේ ව්‍යාපාරයක ජනක සේනාධිපති නමැත්තා යෙදී සිටින බැවින් එම බෞද්ධ විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.

එම දැනුම් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබියදී එම ස්ථානය නැරඹීමට පෙරේදා (7) ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රී දළදා මාලිගාවට හානියක් සිදු වන ආකාරයටත් බෞද්ධ ජනතාව ඇවිස්සෙන ආකාරයටත් ඉදිකර තිබෙන පත්තිරිප්පුව හා සමාන ගොඩනැගිල්ල වහාම කඩා ඉවත් කරන ලෙස සේනාධිපති මහතාට දැනුම් දුන්නේය.

තමා නැවත සති දෙකකින් මෙම ස්ථානයට එන බවද ඒ එන විට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර නොතිබුණොත් තමන් එය කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවද සිල්වා මහතා කියා සිටියේය.

මර්වින් සිල්වා මහතාගේ නියෝගයක් බදු එම දැනුම් දීම එම අවස්ථාවේදීම පිළිගත් සේනාධිපති මහතා අද පෙරවරුවේ සිටම එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.