විජය නන්දසිරි දිවි රඟමඩලින් බහී


ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (10) තෙවැනි දිනටත් කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ගල්කිස්ස කලාපුරයේ ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිති.

අද ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද එහි ගියේය.

විජය නන්දසිරි මහතා පසුගිය 8 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහු 69  වැනි වියේ පසුවිය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල ගුණවර්ධන මහතා පවසයි.

මනමේ වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. ‘පුංචි පහේ මං‘වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.

1947 දී උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුර දිව‘ වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත.

යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ.

දකුණු කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර හදිසි මරණ පරීක්ෂක විපුල කරසිංහ මහතා මෙය හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් බව තීන්දු කළේය. 

විජය නන්දසිරි මහතාගේ දේහය ගල්කිස්ස කලාපුරයේ 156/1 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 11 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

_DSC0437 _DSC0457 _DSC0473 _DSC0428_7 _DSC0418 _DSC0419 DSC_0764 _DSC0407

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

10580031_546576965488122_5794630329817598008_n 10610563_512337615578724_6911043588107360889_n 12932986_848780411934441_2704338418126205892_n 303190378_vijaya-nandasiri-(9) 347806109_vijaya-nandasiri-(1) 477617330_vijaya-nandasiri-(4) 678825807_vijaya-nandasiri-(2) Deiyoth-Danne-Nehe maxresdefault rukada-rajje-1 z_arts-p30-Sikuru-Harthe z_p25-Kusa-Pabawathi-at- z_p27-Her1

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

       

 

vije_810 vije_8102 vije_8103

ඡායාරූප - ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය