විරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරති


(ඩයනා උදයංගනී)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ ගාලුමුවදොර පිටියේ සිට අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  සාමකාමීව සැමරූහ.

සියලු චාරිත්‍ර වාරිත්‍ර විරෝධතා භූමියේ සිටම සිදුකළ අතර පැමිණ සිටින සියලු දෙනාට ආහාර ගැනීමට කිරිබත් සහ විවිධ කැවිලි වර්ගවලින් යුත් කෑම මේසයක්ද සූදානම් කර තිබිණි.

ඔවුන් වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් කැවිලි සපයනු ලැබිණි.

සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ නැකතට කිරි ඉතිරවූ පිරිස කැවිලි අනුභව කළහ.

නිර්මාණශීලී රබන් පද ද ඔවුන්ගේ අවුරුදු සැමරුමට ඇතුළත්ව තිබිණි.

ප්‍රවීණ ගායන ශිල්පී විකටර් රත්නායක මහතා ඇතුළු කලාකරුවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රටේ ඇතිව තිබෙන ආර්ථික පසුබෑම හමුවේ පවතින රජයට ඉවත්වන ලෙස ඉල්ලා පසුගිය 09 දින මෙම විරෝධතාව ආරම්භ විය.

පවතින වර්ෂා සහිත කාළගුණය මධ්‍යයේ වුවද තම ඉල්ලීම ඉටුවන තෙක් විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියේ රැදීසිටිමින් විරෝධතාවයේ යෙදෙන ආකාරය දැක ගත හැකිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)