වී අලෙවි මණ්ඩලයට එරෙහි පෙත්සම විසිවේ


සහතික  මිළට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුවී ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙසට නියෝග කරමින් වී අලෙවි මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වී ගොවියන් පිරිසක් විසින් ගොනු කැරුණු රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අද (26) එම පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කළේය.

පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය පදනමක් නොමැති බවත්,  සහතික මිලට වී මිළඳී ගැනීම වී අලෙවි මණ්ඩලයටම පමණක් පැවරුවහොත් වී තොග මිලදී ගැනීමට ඇති අවස්ථාවන් අඩුවන බවත් පෙන්වා දෙමින්  මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමටද අභියාචානාධිකරණය තීන්දු කළේය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණි.