වීර, පලු,බුරුත බුරුතු පිටින් බිම හෙලන්න අවසර දුන්නේ කවුද


(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති  වන රක්ෂිතයේ වීර, පලු, බුරුත, ඇතුළු වටිනා  ශාක දින කිහිපයක සිට විශාල යන්ත්‍ර සූත්‍ර යොදා වනසමින්න සිටින බව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි නියෝජිතයෝ සඳහන් කරති.

එහෙම රක්ෂිතය විනාශ කිරීමත් සමඟ එහි සිටින මුවන් ගෝනුන් හා වල් අලින් ඇතුළු අනෙකුත් සතුන් ගම්ව වැදී ජන ජීවිතයට හා දේපළට හානි කරන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වනජීවී දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම රක්ෂිත ඉඩම් අක්කර 1500 ට වැඩි ප්‍රමාණයක් බඩ ඉරිගු වගාව සදහා ආයෝජකයන්ට ලබාදී ඇති බවත් ඔවුන් හිතුමනාපයේ මෙම රක්ෂිතය වනසා විශාල ජාවාරම්ක් සිදු කරන බව ද ගම්වාසීහු පෙන්වා දෙති

රක්ෂිතයකින් උදලු මිටක්වත් කපා ගැනීමට යෑමට ඉඩ ලබා නොදෙන අවස්ථාවක කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඩෝසර් ඇතුළු යන්ත්‍රසූත්‍ර දමා වටිනා රක්ෂිත විනාශ කිරීම විමතියට කරුණක් බවත්, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි සූරියවැව හිටපු ගොවි සංවිධාන සභාපති එස්.ඒ. සමරසිංහ මහතා සඳහන් කළේය.

ඩෝසර් දමා විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් හැටියට නම් කර ඇති බවත්, සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන්කරනු ලබන්නේ මෙම රක්ෂිතය හරහා බවද ගම්වාසීන් සඳහන් කරති'

මෙම රක්ෂිතයේ විනාශය පිළිබඳ අප මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී  තමන්ට එම භූමිය අයත් නොවන පැවැසීය.

ඉන් අනතුරුව මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගම‍යේ සභාපති අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විනාශ වෙමින් පවතින්නේ අලි සංක්‍රමණය වන රක්ෂිතයක් බවත්, මෙම තත්තවය නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වීමේ විශාල අවධානමක් පවතින බවත්, ඒ තුළින් ජීවිත හා දේපොළ හානි සිදුවිය හැකි බවයි,

මේ පිළිබඳ ප්‍රදේශයේ සංඝරත්නය සහ ගොවි ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බවත්, තමන් වනජීවී වෘත්තීය සංගමයේ සභාපතිවරයා හැටියට මෙම විනාශය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.