ජනප්‍රියම නළුවා ලෙසින් සම්මානයට පාත්රවීම පිළිබඳව මොකද හිතන්නෙ?
ගොඩක් සතුටුයි. මම ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 10 ක් විතර වෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ජනප්‍රියත්වයක් යම්තාක් දුරකට රැඳිලා තිබීම ගැන ගොඩක් සතුටුයි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ක්ෂේත්රයට එන අලූත් මුහුණක්නෙ ජනප්‍රිය වෙන්නෙ. කට වචනෙන් කියන්නෙ එක රැයින් ජනප්‍රිය වෙනවා කියලා. ඒ වගේ තත්ත්වයක් නවක ගොඩක් දෙනෙකුට තියෙනවා. නමුත් ඒක කාලයක් පවත්වාගෙන යන එක ටිකක් අපහසුයි. ඉතින් කාලයක් ක්ෂේත්රයේ රැඳිලා ඉන්න කෙනෙක් විදියට තාමත් ඒ ජනප්‍රියත්වය අඩුවෙලාද? වැඩිවෙලාද? කියන්න දන්නෙ නෑ. නමුත් යම්තාක්දුරට ඒ ජනප්‍රියත්වය තිබීම ගැන ලොකු සතුටක් තියෙනවා.
මෙවර ජනප්‍රිය නළුවා සම්මාන ලැබුණෙ කීවෙනි වතාවටද?
රයිගම් සම්මානය ලැබුණෙ 4 වෙනි වතාවට.
ගිය වසරේ රඟපෑ ටෙලිනාට්‍ය ගැනත් කතා කරමු?
වස්සාන පේ‍්‍රමය සහ හංස පිහාටු ඒ නාට්‍යය දෙකම තවමත් විකාශය වෙනවා. ඒ වගේම මේ දවස්වල මතු සම්බන්ධයි නාට්‍යයත්, එරන්ලන්දු නාට්‍යයත් විකාශනය වෙනවා.
නාට්‍ය චරිත ගැනත් හැඳින්වීමක් කළොත්?
වස්සාන පේ‍්‍රමයේ මම ආදිත්‍ය කියන චරිතය රඟපාන්නෙ. අහිංසක පේ්රමවන්තයාගෙන් මිදුණු වෙනස්ම චරිතයක්. ඒ චරිතය භාරගනිද්දී මගෙ හිතෙත් පොඩි චකිතයක් තිබුණා පේ්රක්ෂකයො කොයි විදියට ඒක භාර ගනීද කියලා. මොකද සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ වැඩි කැමැත්තක් තියෙන්නෙ ටිකක් අහිංසක සුදු චරිතවලටනෙ. ඉතින් මේ ඊට වඩා වෙනස් චරිතයක්. නමුත් හිතුවට වඩා හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම හංස පිහාටු ටෙලිනාට්‍යයෙත් මැර දේශපාලනඥයකුගෙ චරිතයක් රඟපාන්නෙ. ඒ නාට්‍යයත් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඒ අතරින් වැඩිපුරම කැමති චරිතය ගැන කිව්වොත්?
චරිත දෙකටම එකවගේ කැමතියි. සමාජ තල දෙකක් නිරූපණය කරන වෙනස්ම චරිත දෙකක් තමයි ඒ. ඉතින් වෙනසක් නෑ.
ශලනි ජනප්‍රියම නිළිය වීම ගැන ඔබට මොකද හිතෙන්නෙ?
ශලනි ජනප්‍රිය නිළිය වීම ගැන මට ගොඩක් සතුටුයි. මොකද ඇය අපේ ක්ෂේත්රයේ මගෙ හිතවත්ම මිතුරියක්. ඇයත් සමග මම ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරලා තියෙනවා. ඒ අතරින් ගිය වසරේ සිට මේ දක්වා විකාශය වන ‘‘වස්සාන පේ‍්‍රමය’’ ටෙලිනාට්‍ය හරහා අපේ චරිත දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නිසා මගෙ හිතෙත් විශ්වාසයක් තිබුණා ශලනිට මේ සම්මානය ලැබෙයි කියලා.
ඇයත් සමඟ රංගන කටයුතු කිරීම පහසුද? මොකද හිතෙන්නෙ?
ඉතාමත් පහසුයි. මොකද අපිට කෙනෙක් එක්ක මිත්‍රකමක් සහ අවබෝධයක් තියෙද්දි ඒ චරිත ගොඩනඟා ගැනීමේ පහසුවක් තියෙනවා. අපි මේ කරන්නේ සාමූහික වැඩක්නේ. ඉතින් එතනදි අදහස් ගැළපෙනවනම්, ලේසියෙන් කතා කරලා දෙයක් අවබෝධ කරලා දෙන්න පුළුවන්නම්, ඒ සන්නිවේදනය කරන්න පහසුනම් වැඩක් කරන්න හරිම ලේසියි. ඉතින් මම කැමතියි ශලනි එක්ක වැඩ කරන්න.
ඇය රඟපෑ චරිත අතරින් කැමතිම චරිතය මොකක්ද කියලා ආහුවොත්?
ශලනි රඟපෑ චරිත අතරින් මම කැමතිම ගඟ අද්දර ටෙලි නාට්‍යයට. මොකද එහි චරිත දෙකක් තිබුණා. ඒක ආත්ම දෙකක කතාවක් නිසා. එහිදී වෙනස්ම විදියෙ රංගනයක් කරන්න ඇයට අවස්ථාවක් ලැබුණා. ඒක තමයි මම දැකපු හොඳම රංගනය.
ධනු විජේරත්න