සක්මන් මළුව කැඩු අයට නඩු


වත්තල, මාබෝල, කළු ඇළ වම් ඉවුරු රක්‍ෂිතයේ ශරීර සුවතා මංතීරුව කඩා විනාශ කර දැමූ අය ලවාම මසක් ඇතුළත පිළිසකර කරවන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල  ඉද්දවෙල මහතා පැවසීය.

මෙම මංතීරුව කඩා ඉවත්කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කිසිවෙකුටත් අවසර දී නැති බවත් එය අමාත්‍යාංශයට හෝ ඊට අනුබද්ධ ආයතනයක අවසරය මත සිදු කළ කටයුත්තක් නොවන බවත් කී සභාපතිවරයා මංතීරුව විනාශ කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බවද සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ පවත්වාගෙන යන බව කී සභාපති වරදකරුවන් හඳුනාගත් වහාම ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වත්තල, මාබෝල, කළු ඇළ වම් ඉවුරු රක්‍ෂිතය මහජන ගමනා ගමන කටයුතු සඳහා යොදාගැනීමට අවසර ඉල්ලා සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා යොමු කර තිබූ ලිපියකට අනුව ඊට අදාළ ඉඩම් හිමියන්ගේ එකඟත්වය මත ඒ සඳහා කටයුතු කිරීමට අවසර දී ඇතත් එම කොටස ඇළ රක්‍ෂිතයට අයත් බැවින් එහි වැඩිදියුණු කිරීම් නොකරන ලෙස ද දැනුම් දී ඇති බව සභාපති සඳහන් කළේය.

ශරීර සුවතා මංතීරුව කඩා ඉවත්කිරීම නීති විරෝධී අයුරින් සිදුකළ බව එය කාටත් හොර රහසේ මහ ? සිදුකිරීමෙන්ම පැහැදිලි වන බව ද අසේල ඉද්දවෙල මහතා කීවේය.

සභාපති මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.