‘එදා මහින්ද ළඟ සිටි පිරිස අද මෛත්‍රීට පවන් සලනවා‘


එදා මහින්ද රාජපක්ෂ මහතා ළඟ සිටි පිරිස අද මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පවන් සලන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.

‘ඔබතුමා කිසිදේකට බය වෙන්න එපා. ලක්ෂ විසි පහකින් දිනනවා.‘ යැයි සංවිධායකවරුන්ගේ අවසන් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාට පැවසූ අයකු ද අද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟට ගොස් ඇතැයි ද වික්‍රමනායක මහතා ලංකාදීප සමඟ කළ සාකච්ඡාවක දී කීවේය.

‘ශ්‍රීලනිපය දැවැන්ත පක්ෂයක්. ඒකෙ අරමුණු එක්ක ගත්තාම එවැනි පක්ෂයක් දියාරු වෙන්න දෙන්න බෑ. මම ඉන්නෙ ඒ ස්ථාවරයෙයි. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ඉන්නේ රටට විරුද්ධ ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාවට හිතසුව පිණිස දේශපාලනයේ නියැලෙන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ හොඳ ඔළුවක් තිබුණු පක්ෂයක්. ඒ විතරක් නෙවෙයි. හොඳ ප්‍රතිපත්ති රාමුවක් හා හොඳ විනයක් තිබුණු පක්ෂයක්. හැබැයි බලය නිසා ගත් ඇතැම් තීන්දුවලදී ඔළුවට ඉඩක් දුන්නේ නෑ. එතැනදි අපේ ප්‍රතිපත්ති අමතක වුණා. විනය පිළිබඳ හැඟීමක් නැති වුණා. ඇමැතිවරු රජයේ නිලධාරින්ව ගස් බැන්දා. විනය පියවර ගත්තේ නෑ. දූෂිතයන් බවට සමහර ඇමැතිවරුන්ට ප්‍රසිද්ධියේම චෝදනා එල්ලවෙන්න ගත්තා. විනය පියවර ගත්තේ නෑ. ඒ කාලයේම මමත් ඒ රජයේ යම් යම් දේ විවේචනය කළා. දැන් ඔය කතා කියන ඇමැතිවරු කවුරුවත් එතකොට වචනයක්වත් කිව්වේ නෑ.

ඔබට සංවිධායකවරුන්ගේ හෝ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වුණොත් මේක පෙනේවි. එකම පාටිය තමයි කතාකරන්නේ. මේ එකම පාටිය අද කොහෙද ඉන්නෙ. එක්කෝ ඡන්දෙන් පැරදිලා ගෙදර. නැත්තන් ලැයිස්තුවෙන් ඇතුලට ඇවිල්ලා. වෙනස්වෙලා තිඛෙන්නේ නම් දෙක විතරයි. මහින්ද කියන තැනට මෛත්‍රී ඇවිත්. ඒ කතා ටික එහෙමමයි. ‘ඔබතුමා අපේ පක්ෂයට මෙහෙම කොරලා තියෙනවා. ජනතාව හරි සතුටට පත්වෙලා ඉන්නේ. ඔබතුමා ගැන ජනතාව පුදුමාකාර විදියට හිතන්න පටන් අරන්‘  මට නම් හිනාත් යනවා.

දේශපාලනේදි ඇන්ඳුනොත් විනාශයි. ඒක තමයි දිගටම ඔප්පු වුණේ.‘‘