මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත්, ඒ ගැන අදාළ අමැතිවරුන් ප්‍රකාශයක් කරනු ඇති බවත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බව ද අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියැවිණි.
කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතයේදී පසුගිය දා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලට නිසි ප්‍රතිපාදන වෙන් නොකළ බව කියමින් සම්මාන ගනිද්දී කලාකරුවෝ පෝස්ටර් පෙන්වමින් නිහඬ විරෝධතාවක යෙදුනහ. ‘රාජ්‍ය මෙච්චර පීචං ද මචං‘, ‘ ජනාධිපතිතුමනි සංස්කෘතික ජීවිතේ කියලා දේකුත් තියනවා‘, ‘අධ්‍යාපන ඇමතිතුමනි, නාට්‍ය අදාළ නැහැනේ‘ ආදී සටන්පාඨ එම පුවරුවල සදහන්ව තිබිණි.
රාජ්‍ය නාට්‍ය උළෙලට කිසිදු ඇමැතිවරයකු සහභාගී වූයේද නැත.
ප්රශ්නය - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කරන්න අලුත් පරපුරේ කලාකරුවන් ලොකු වැඩකොටසක් කළා. සංස්කෘතික අමාත්‍යංශයේ සහ අධයාපන අමාත්‍යංශයේ කඹ ඇදිල්ලක් නිසා රාජ්‍ය නාට්‍ය උළෙලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ නැති බවට කලාකරුවන් චෝදනා කරනවා.?
ප්‍රශ්නයට පිළිතුරු දීම ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා විසින් නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතාට යොමු කරනු ලැබීය.
පිළිතුර - මේ ගැන අපි කතා කළා. අදාළ ඇමැතිවරුන් ඉදිරියේදි පැහැදිලි කිරීමක් කරයි.
ප්රශ්නය - කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතා වුණාද?
ගයන්ත කරුණාතිලක - කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතා වුණේ නෑ නේද?
දොස්තර රාජිත සේනාරත්න - මේ ගැන කතා වුණේ නෑ
ගයන්ත කරුණාතිලක - නමුත් අපි අගමැතිවරයා සමග මේ ගැන කතා කළා. අදාළ ඇමැතිවරුන් පසුව පැහැදිලි කිරීමක් කරයි.
ප්රශ්නය -අමාත්‍යංශවලට ආයතන බෙදද්දි ගැටළුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්රශ්නය ඇවිත් තියෙන්නේ. කලින් තිබුණු විදියට ආයතන බෙදන්නේ නැද්ද?
කරු පරණවිතාන - මෙතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඉදිරියේදී විසඳුමක් ඉදිරිපත් කරයි.