‘කැත්තෙන් හරි පොල්ලෙන් හරි මැතිවරණයට සූදානම්‘


රටේ ජනතාවගේ ජනවරම මෛත්‍රිපාල සිරිසේන ජනපතිට බවත් ඔහුට ඒ ජනවරම ලැබුණේ එක්සත්ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු හැටියට බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් පොදුජන එක්සත් පෙරමුණටවත් ජනවරමක් නොලැබුණු බව ඒ ගැන කතා කරන අය දැනගත යුතු බවත් විශ්ව විද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) මහනුවරදි පැවැසිය.

අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ අස්ගිරි පාර්ශවයේ මහානායක මාහිමියන් ලෙස අභිනවයෙන් පත්වු බදුලු මුතියංගන රාඡමහා විහාරාධිපති වරකාගොඩ ඤාණරතන  නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

විශාල අත්දැකිම් ඇති ඇමැතිවරයෙක් හැටියට විශාල කාර්ය භාරයක් කළ හැකි බවත් රටේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙන බවත් ඒවා විසදා ගැනිමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් අස්ගිරි මහානාහිමියෝ ඔහුට පැවැසුහ.

මහනුවර කොළඹ අධිවේගි මාර්ගය ලබන ජූලියේ ගලගෙදරින් අරඹන බවත් තැන්නේකුඹුරේ සිට ගැටඹේ දක්වා ඉදි කිරිමට යන උමං මාර්ගයේ වැඩ කටයුතු 80%ක් අවසන් බවත් මහනුවර බෝගම්බර බන්ධනාගාරය හෝටල් සංකිර්ණයක් කරන බවත් මහනුවර නගරය කුන්ඩසාලය දක්වා පුළුල් කරන බවත් අමාත්‍යවරයා කීවේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන් බය නැති බව කී කිරිඇල්ල මහතා ‘අපි ඕන වෙලාවක සුදානම් මැතිවරණයකට. පරණ ක්‍රමයට හරි අලුත් ක්‍රමයට හරි කැත්තෙන්ද පොල්ලෙන්ද අපි මැතිවරණයට සුදානම්. අපි මැතිවරණවලට ආසයි‘ යැයිද පැවසීය.