කොමිස් නොගෙන ගජ මිතුරනට මහජන සම්පත් කොල්ල කෑමට ඉඩනොදී පවුල් බලයද ජාතිවාදයද පිටු දැක රටේ සෑම පුරවැසියකුට ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීමට ගන්නා උත්සාහයේදී රාජපක්ෂලා එක්සත් ජාතික පක්ෂය සතුරකු සේ නොදකින ලෙසත් අප සැවොම එකට එකතුවී ඉදිරියට යන ගමනේ ප්‍රතිඵලය සෑම කෙනකුගේම සාක්කුවල මුදල් ඉතිරිවීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එජාප මැයි රැලියේදී ප්‍රකාශ කළේය.
මහ වැසි මැද්දේ අගමැති සිය කථාවේදී මෙසේද කීවේය.
‘රාජපක්ෂ රෙජීමය කාලේ සිංහල අවුරුද්ද සමරන්න ණය ගත්තා. රත්තරන් බඩු උගස් කළා. මේ අවුරුද්දේ රත්තරන් බඩු උගස් කරන එක අඩුවුණා. ජනතාවගේ අතේ මුදල් තිබුණා. අපේ ආණ්ඩුව වැට් බෝම්බයක් පත්තු කළා කිව්වේ මාධ්‍ය මේක දිහා බලාගෙන. අපි අත්‍යවශ්‍ය භාණ්ඩ පළමුවතාවට වැට් බද්දෙන් නිදහස් කරගෙන තමයි රට ඉස්සරහට ගෙනියන්නේ.
අපි කිව්වා පඩි වැඩි කරනවා කියලා. ඔන්න අපි පඩි වැඩි කළා. හැමකෙනාගේම අතේ තිබෙන ආදායම වැඩි වුණා. තෙල් මිල අඩුවෙන කොට තෙල් මිල අපි අඩු කළා. අපි දූෂණය නැති කරන්න ආරම්භ කරලා තිබෙනවා. අපි අලුතෙන් පෑලියගොඩ ඉඳන් කොළඹ නගරයට ගුවන් පාලමක් ඉදිකරනවා. අපි නුවර ඉඳන් කොළඹට මාර්ගය හදාගෙන යනවා. කවුරුත් කොමිස් ගන්නේ නෑ. රත්නපුර මාර්ගය ඉදිකරනවා.
පෝට් සිටි එක සින්නක්කර දුන්නා. ඒගොල්ලෝ මොකද කළේ නයිට් රේස්, ගණිකා මඩම්, කැසිනෝ දැම්මා. මම කිව්වා අපිට ඒවා වැඩක් නෑ. අපි කොළඹ උසස් නගරයක් කරනවා. ඒකයි අපේ වෙනස. ගාල්ල විශාල සංචාරක පුරවරයක් බවට පත් කරනවා. හම්බන්තොට නැව් නැති වරාය ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රැස්වීමට ගිහින් මම කිව්වා. ඒක නැව් වලින් පුරවනවා කිව්වා. බස්නාහිර පළාතේ වයඹ කර්මාන්ත කලාප ආර්ථික කලාප ඇතිකරනවා. මහනුවර විශාල නගරයක් බවට පත් කරනවා. පේරාදෙණියේ සිට කුණ්ඩසාලය දක්වා විශාල නගරයක් කරනවා. වතුකරයේ නිවාස පටන්ගෙන යනවා. නැගෙනහිර උතුර විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
අපේ අරමුණ රැකියා ලක්ෂ 10 ලබාදෙන එක. මේ රට ඉහළ ආදායම් ඇති ආර්ථිකයක් බවට පත් කරන්න. රටේ හැම පුරවැසියාටම ඉහළ ජීවන තත්ත්වයක් ලබාදෙන්න අපි ක්‍රියා කරනවා. ඒකට අපි එකතු වෙන එක වැරදිද? දැනටම අපි ඔබ ණය බරින් බේරන්න පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. මෙතෙක් කල් පුද්ගලික අංශයට අවම වැටුප දෙන්න කිව්වා. අපි බලන්නේ ජීවන වැටුපක් දෙන්නේ කොහොමද කියලා. අපි ඔක්කොම එකට එකතුවෙලා ඉදිරියට යන ගමනේ ප්‍රතිඵලය අපි ඔක්කොමගේ සාක්කුවල සල්ලි තියෙනවා. මම රජයේ සංස්ථා ගජ මිතුරන්ට කොල්ල කන්න දෙන්නේ නෑ. ඒවායේ ආදායම් ජනතා ජනභාරයට ලබාදෙනවා. පෞද්ගලික සමාගම් ලබාදෙන ලාබය සංස්ථාවලත් ලබාදෙන්න ඕනෑ. අපි මේ කැපවීම සාර්ථක කරගන්න අපේ ඉදිරි ගමන ආරම්භ කරමු‘
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - ඩික්සන් වසන්ත