‘නායගිය තැන්වල යළි පදිංචිවීම අනතුරුදායකයි‘


දරුණු නායයෑම් ඇති වීමට හේතුව වසර ගණනාවකට එපිට නායයෑම් සිදුවු ප්‍රදේශවල ජනතාව නොදැනුවත්ව ජනාවාස ඇතිකර ගැනීම බවත් අධික වර්ෂාව හේතුවෙන් මීට පෙර සිදුවු නායයෑම් සක්‍රියව වර්ධනය වීය හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා පිළිබඳ මහාචාර්ය කපිල දහනායක මහතා පවසයි.

අරණායක නාය ගිය ප්‍රදේශයේ කළ සංචාරයේදි එම තත්වය නිරික්ෂණය කළ හැකි වු බවත් මහාචාර්යවරයා පැවැසිය.

මෙවන් ආකාරයේ නායයෑම් මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇතිවිමට බොහෝ සේ ඉඩ කඩ ඇති බවත් මෙවන් නායයෑම් ඇති විය හැකි ස්ථාන හඳුනාගෙන එහි වෙසෙන පිරිස් කල් තියා ඉවත් කිරිම හෝ ඔවුන්ට වෙනත් ස්ථාන ලබාදීම කළ යුතු බවත්  දහනායක මහතා කීවේය.

නායයෑම් ඇරඹුණු විට පැයට කිලෝමීටර් 10 කටත් වඩා වැඩි වේගයකින් ගලා හැළෙන බවත් එයින් අනතුරු ඇතිවීමේ හැකියාව වැඩි බවත් මහාචාර්යවරයා කීය.