‘මුරලිගෙන් අලුත් දුස්රාවක්‘


ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන වෝන්-මුරලි කුසලාන ක්‍රිකට් තරඟයට දින දෙකක් තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට බැණවැදී බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවී කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව දැනගන්නට ලැබුණු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ අද පස්වරුවේ (24) දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සුමතිපාල මහතා මේ බව කීවේය.

පන්දුයැවීමේදී ජත්‍යන්තරයෙන් චෝදනා එල්ලවත්දී පාලක මණ්ඩලය හා ජනතාව මුරලි  වෙනුවෙන් පෙනීසිටි බවත් අද ඔහු මෙවැනි හැසිරීමක් තම උපන් රටට එරෙහිව උපන් ප්‍රදේශයේ සිටම සිදුකිරීම කනගාටුවට කරුණක් බවත් මුරලිදරන් එසේ හැසිරී ඇත්තේ ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සඳහා නිදහස්කර නොතිබියදී බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්වත් කිරීමට පියවරගත් බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.

මුරලි හිටපු ක්‍රීඩකයෙක් පමණක් බවත් ලොව ඕනෑම කණ්ඩායමකට තම වෘත්තිය දැනුම ලබාදීමට මුරලිට අයිතිය ඇති බවත් මෙරට ජනතාව මෙය මුරලිගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවත් ක්‍රිකට් සභාපතිවරයා කීය.

 වෝන් මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ යැයි පැවැසු මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසාබැලිය යුතුව ඇතැයිද ඔහු පැවසුවේය.

web_sumathihora_725 web_sumathihora_7252

ඡායාරූප - සෙනරත් බණ්ඩාර

 

වීඩියෝ - චමිල් රූපසිංහ