‘මේ රජයට රටක් පාලනය කරන්න බැහැ‘


 

 (නිමල කොඩිතුවක්කු)


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

මැතිවරණයේදී කියු  ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් පොල් ගෙඩිය පවා ගන්න පෝලිම් යුගයට යාමට සිදුව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ ජනතාවගේ ආදායම අඩුව බඩු මිල ඉහළ යාම නිසා දුදරුවන්ට අවශ්‍ය ආහාර දිය නොහැකි පවුල් ලක්ෂ ගණනින් ඇති බවත් දෙහිවල පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.

මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් රජයට ජනතාව ජීවත් කරවන්න විසදුම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

රටේ  විදේශ ණය 2028 සිට ගෙවිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය ඩොලර් සංචිත ගොඩනැගීම සඳහා  ඩොලර් ලබා ගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.


2028 දී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බවත් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරි මහමැතිවරණයේදී මේ තත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සැවොම එකට එකතු වී ජීවත් වන්නට පුලුවන් මූලික අවශ්‍යතාව සපුරා ගත හැක්කේ කුසගින්නෙන් බඩගින්නෙන් තොර රටක් නිර්මාණය කිරීමෙන් බවත් ඒ සඳහා සමගි ජන බලවේග රජයකට ශක්තිය ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.