‘මෛත්‍රීගේ ආරක්ෂාව ප්‍රශ්නයක්‘


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇතැයි ද, ජනපතිවරයා තම ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය  යොමු කළ යුතු යැයි ද පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා   පැවැසීය.

ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටින ජනාධිපති ආරක්ෂක අංශය සිටින්නේ කුමක් සඳහා යනුවෙන් ප්‍රශ්න කළ සමන් රත්නප්‍රිය මහතා මීට පෙර ද ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වූ බව කීවේය.

‘‘පසුගිය කාලය පුරාවට විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් ගැටළු ඇති වුණා. ජනාධිපතිවරයා සම්බන්ධ වූ වැඩසටහනක දී මේ ආකාරයෙන් විදුලි බිඳ වැටීමක්   වාර්තා වුණා. ඇත්තටම කීවොත්, එය විදුලිය බිඳ වැටීමක් නොවෙයි. ඒ අවස්ථාවට ගෙනත් තිබූ විදුලි උත්පාදනය යන්ත්‍රය අක්‍රීය වීමක්.  ජනාධිපතිවරයා සහභාගී වූ කුරුණෑගල ප්‍රදේශයේ උත්සවයකදී තමයි මෙය සිදු වුණේ.

බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනකු ජනාධිපතිවරයා ආසන්නයේ කටයුතු කළ බවට තොරතුරු ලැබී තියෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර  තියෙනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කෙරිලා නැහැ. එය යහපත් තත්ත්වයක් නෙමෙයි.

 දින සියයේ වැඩසටහන යටතේ, හම්බන්තොට පැවැති ජනාධිපතිවරයා සම්බන්ධ වූ වැඩසටහනකට පිස්තෝලයක් ගෙන ආ බවට තොරතුරු වාර්තා වුණා. ඒ පුද්ගලයා නාමල් රාජපක්ෂ මහතා ආරක්ෂකයකු බව මන්ත්‍රීවරයා පවසා තිබුණා.

මේ සිදුවීම්වලදී ජනාධිපති ආරක්ෂක අංශයේ හැසිරීම ඉතා දුර්වලයි. ජනපතිවරයා සහභාගී වන උත්සවයක ආලෝකය ලබා දීම, විදුලි උත්පාදන යන්ත්‍රයක් භාවිත කරනවා නම්, එය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න බැරි නම්, එය ආරක්ෂා කර ගන්න බැරි නම්, මේ ආරක්ෂක අංශවලින් වැඩක් තියෙනව ද? ආලෝකය කියන්නේ වැදගත් සාධකයක්. ආලෝකය නැති කරලා ජීවිතයට හානියක් කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරයා මේ ආරක්ෂක අංශ කෙරෙහි වගේම තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මීට වඩා බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුයි. ‘‘