එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධනය මගින් කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල වැඩි නොවන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
නව බදු සංශෝධනය අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවාව සඳහා වැට් බද්ද ඇතුළත් කර ඇති බවත් මෙහිදී ඖෂධවල මිල කිසිදු ආකාරයකින් වැඩි නොවන බවත් ඇමැතිවරයා කීවේය.
මැයි 2 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව වැට් බදු සංශෝධනයෙන් විදුලිය, ජලය, දේශීයව නිෂ්පාදනය වන එළවළු, පළතුරු, නැවුම් කිරි ආදිය නිදහස් කැර ඇති බවත් ඇමැතිවරයා කීය. බදු සංශෝධනයෙන් විදුලි සංදේශ සේවා හා පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා මිල වැඩිවීමක් සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
පෞද්ගලික රෝහල්වල සේවා සඳහාවන ගාස්තු පමණක් වැඩි වන බවත් මෙම බදු මුදල් රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා යොදවන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ පෞද්ගලික වෛද්‍යවරුන් සිදුකරන චැනල් සේවාවන්හි අයකැරෙන මුදල උපරිමය රුපියල් 2000කට සීමා කර ඇති බවත් පශ්චාත් වෛද්‍ය සේවය ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවත්ය. ශ්‍රී ලංකාවේ සැත්කමකින් පසු වෛද්‍යවරයා රෝගියා සමග නොසිටින බවත් අඩු ගණනේ පැයක්වත් රෝගියා සමග සැත්කමින් පසු සිටිමට කටයුතු සලස්වන බවත් කී සේනාරත්න මහතා තමාගේ සැත්කමක් සඳහා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළු වූයේද එම රටවල ඇති පශ්චාත් වෛද්‍ය සේවයේ ගුණාත්මක භාවය නිසා බව පැවසීය.
රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට සාපේක්ෂව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල වැටුප් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් මූලික වැටුපට ලබාදෙන විශේෂ දීමනාව හා රුපියල් 10,000ක් වූ අන්තර් දීමනාව 2016 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි ඔවුනට හිමිවන බවත් ඇමැතිවරයා කීවේය.