‘ශ්‍රීලනිපය කඩන්න දෙන්න එපා‘


හිටපු ජනාධිපති හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොදු විපක්ෂයේ කණ්ඩායමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නට විශාල උත්සහයක් දරන බවත් එසේ කළහොත් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කරන විශාල අපරාධයක් බවත් එයාලා අපි කවුරුත් අද මේ තැන් වල සිටින්නේ  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිසා බවත් මධ්‍යම පළාත් ඇමැති එදිරිවීර වීරවර්ධන මහතා අද (7) මහ ඇමැති නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ඒ අය හැමදාම බලයට එන්න තමන්ගේ පටු අභිමතාර්ථයන් තමන් කරපු වැරදි වහගන්න. ජනතාව ප්‍රතික්ෂේප කළ පසු නොයෙක් නොයෙක් දේ ජනතාවට කියල නැවත බලය ලබා ගන්න දරන උත්සාහයෙන් පක්ෂය කඩා ඉහරවන්න දඟලනවා. පක්ෂයේ නියෝජිතයන්ට පක්ෂය දෙකඩ කරන්නන්ට ඉඩ නොදි පක්ෂය සමග එකට සිටින්නට ආරාධනා කරනවා‘ යැයිද ඔහු කීය.

තමන් ඇතුළු අහිංසක පාක්ෂිකයන් නොකා නොබී පක්ෂය හැදුවාම බැසිල්, ගෝඨාභය, නාමල්, යෝෂිත, රෝහිත ආදී රාජපක්ෂවරු වරප්‍රසාද ගත් බවත් ඒවා සාධාරණ නොවන බවත් එතැනට ආපසු යෑමට යළි නොහැකි බවත් එම මාධ්‍ය හමුවට එක්වූ පළාත් මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා කීවේය.

web_7-7IMG_7419