‘සිසුන්ට පංති කාමරය මාරකයක් වෙයි‘


බහුතරයක් පාසැල්වල පංති කාමර සිසුන්ට හිතකාමී නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ අධ්‍යයනයක දී හෙළිවී තිබේ.

විශේෂයෙන්  දරුවන්ට සපයා ඇති ඩෙස් බංකුවලින් 80% ක්ම ඔවුන්ගේ ශාරීරික මිනුම් දඬු හා නොගැලපෙන බව ද එම අධ්‍යයනයෙන් කියවේ.

පාසැල් පංති කාමර තුළ සෞඛ්‍යාත්මක සාධක පිළිබඳ කළ මෙම අධ්‍යයනයේ දී ප‍්‍රමාණවත් ආලෝකය, වාතාශ‍්‍රය, පුද්ගල අවකාශය, වාඩිවන ස්ථානය, ඩෙස් බංකු, හා පාසැල් බෑගය යන අවශ්‍යතා දරුවන්ට ගැලපෙන අන්දමින් නොමැති බව හෙළි වූ බව එම අධ්‍යයනය මෙහෙයවූ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.

කළු ලෑල්ලට සාපේක්ෂව සෞඛ්‍යයට හිතකර පරිදි සිසුන්ට වාඩිවීමට අවස්ථාව නැති බවත් විටින් විට ඉරියව් මාරු කිරීමට සිසුන්ට අවස්ථාව නොලැබෙන බවත් අධ්‍යයනයේ දී හෙළිවූ බවද වෛද්‍යවරයා කීය.

මේ හේතුවෙන් දරුවන්ට විවිධ මාංශපේශී හා සැකිලි ආශ‍්‍රිත වේදනා, විඩාවට පත්වීම, මානසික අසමතුලිතතා මෙන්ම කොඳු ඇට පෙළ ඇදවීම ද සිදුවිය හැකි බව ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

අධ්‍යයනයේ දී හෙළි වූ විශේෂ කරුණ වන්නේ පාසල් දරුවන්ගෙන් 35% ක් නිදන් ගත මාංශ පේශී රෝග හා සැකිලි ආශ්‍රීත වේදනාවලින් පෙළෙන බව යැයි ද ඔහු පැවසීය.