‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට


(ටී.කේ.ජී.කපිල )

17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය.

පසුගිය 7 වැනි දා සිට 11 වැනි දා පැවැති 17වන කසාන් මුස්ලිම් ජාත්‍යාන්තර  සිනමා උළෙලේදී ද නිව්ස් පේපර් චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූහ.

ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස සහ තිර රචනයෙන් ද දායක වී තිබුණි .‘‘ ද නිව්ස් පේපර්‘‘ චිත්‍රපටය  මීට පෙර  අන්තර් ජාතික සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය.

එංගලන්තයේ ‘‘රේන්වෝ අන්තර් ජාතික සිනමා උළෙලේ හෝඳම අධ්‍යක්ෂණයට, ඉන්දියාවේ ‘බැංගලුරු අන්තර්  ජාතික සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටයත්, කැලිෆෝර්නියාවේ ‘ඉන්ඩ්පෙනන්ස්‘‘ සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටයත්, ඇමෙරිකාවේ ‘පළමු සිලෝන් අන්තර් ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන පහකුත් ඕස්ට්‍රේලියාවේ ‘මෙල්බර්න් ඉන්දීය චිත්‍රපට උළෙලේ ඉන්දියානු උපමහද්වීපික හොඳම චිත්‍රපටය ලෙසත් මීට පෙර සම්මාන හිමිකර ගත්තේය.

සම්මානය රැගෙන ආ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීම සඳහා සිනමා නළු කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල , මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන එච්.ඩී.ප්‍රේමසිරි , රවීන්ද්‍ර ගුරුගේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න  සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු එම අවස්ථාවට එක් වූහ.