තිඹිරියාගම බණ්ඩාර
රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් මේ වෙන විට හිටපු ඇමති මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තබා ඇත.
2010 වසරේදී කළ මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ යැයි චෝදනා ලැබූ හිටපු ඇමතිවරයෙකු වන ප්‍රසන්න රණවීර, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, ව්‍යාපාරිකයෙකු සහ නීතිඥයෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කෙරෙමින් පවතී. පොදු දේපළ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු අනුව හිටපු ඇමති මර්වින් සිල්වා ඇතුළු චූදිතයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා නියෝග කළාය.
රු.කෝටි 7.5 කට අධික වටිනාකමක් ඇති කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම ඔවුන්ට ඇති චෝදනාවයි.
රජයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් මෙලෙස ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවට හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවීමත් සමග එම වංචාවලට සම්බනධ නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පාර්ශ්ව පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙමින් පවතී. චූදිතයන් නීතියෙන් ගැලවීම සඳහා වසන් ව සිටීමේ උත්සාහයක් පවතින බවට ද තොරතුරු හෙළි වෙයි.