ඉන්දික හේවාවිතාරණ
ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.
මේ නිසා උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසයි. දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බව කී ඔහු සතියකට දින තුනක් හතරක් එසේ ඉන්දීය ධීවරයන් පැමිණෙන බව ද සඳහන් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු කරන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරන ලෙස 2010 වසරේ සිට මෙරට දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කළ ද විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මේ වනවිට කල්පිටිය මුහුදු තීරය දක්වා පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් අරුණ රොෂාන්ත මහතා පැවසීය.
ඉන්දීය ධීවරයන් නීති විරෝධී දැල් භාවිත කර මසුන් අල්ලා ගැනීමට කටයුතු කරන නිසා කොරල්පරවලට හා මත්ස්‍ය පැටවු බෝවන ස්ථානවලට දැඩි ලෙස හානි සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
රතු දැල්ලා නමැති මත්ස්‍ය විශේෂයේ බෝවීම වැඩි වශයෙන් සිදුවන ත්‍රිකුණාමලයට ආසන්න මුහුදු ප්‍රදේශය ද මේ වනවිට හානියට පත් වී තිබෙන නිසා එම මත්ස්‍ය වර්ගය හිඟ වී ඇතැයි ඒ මහතා පැවසීය.
උතුරු මුහුදේ මත්ස්‍ය බෝවීම අඩු වීමෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවරයන්ට දැඩි බලපෑම් සිදුව තිබෙන බවද අරුණ රොෂාන්ත කීය.
ඉන්දීය ධීවරයන් විශාල යාත්‍රා යොදාගෙන යකඩ කැබලි සවිකළ දැල්වලින් මත්ස්‍ය සම්පත නෙළා ගැනීම නිසා මෙරට ධීවරයන් මුහුදේ එළන දැල්වලට පවා දැඩි හානි සිදුවන බවද හෙතෙම පැවසීය.
නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් පලවා හැරීම හා අත්අඩංගුවට ගැනීම සිදුකරන බවත්, මේ වසරේ ගෙවීගිය කාලයෙහි දී ඉන්දීය ධීවර යාත්‍රා 46ක් සහ ධීවරයන් 341ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් කළේය.