ඉදිරි සති දෙක තුළ දඬුවම් ක්‍රියාත්මකයි?
(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මරා දැමීමට ගෙන ඇති තීරණය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරගතව සිටින පිරිස අතුරින් ප්‍රධානපෙළේ සිවු දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට ජනාධිපතිවරයා ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනය යෙදී තිබූ ඉකුත් 26 වැනිදා අත්සන් කර තිබිණි.
ඔවුන් සිවු දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය ද තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දෙසතිය තුළ එය ක්‍රියාත්මක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බදාදා පළමුවරට ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් ද විරෝධතා රැසක් මේ වනවිට එල්ල වී තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට යුෙරා්පා සංගමයත් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයත් විරෝධය පළකර තිබිණි.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට දුන් පොරොන්දුව කැඩීමක් බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.
මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීති බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් කියා තිබිණි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද කියා තිබුණේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වහා නැවැත්විය යුතු බවය. මේ අතර එක්සත් ජාතික පක්ෂයද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවද කුමන විරෝධතා එල්ල වුවද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයේ වෙනසක් කිරීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බව ආරංචි මාර්ගවලින් පැවසේ.