උපුල් වික්‍රමසිංහ
සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය සඳහා තරග කරන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක අපේක්ෂකයන් පස් දෙෙනකු මේ වෙන විටත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක වශයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔවුන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කර තිබේ.
අගෝස්තු මස 15 වැනි දින නාමයෝජනා භාර ගන්නා බව ද සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පවත්වන බව ද දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 26 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබූ අතර එදිනම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇප මුදල් තැන්පත් කිරීම විශේෂත්වයක් විය. එමෙන්ම පසුගිය 26 වැනිදා සවස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ජනාධිපතිවරයා ඇතුළුව අපේක්ෂකයන් 4 දෙනකු එදින වෙන විට ඇප තැන්පත් කළ බවය. ඒ අනුව හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් (ස්වාධීන), ඒ. එස්. පී. ලියනගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සරත් කීර්තිරත්න (ස්වාධීන) යන අය එසේ ඇප තැන්පත් කළ බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, සර්ව ජන බලය සන්ධානයෙන් ව්‍යවසායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ව්‍යවසායක ධම්මික පෙරේරා, ජන අරගල සන්ධානයෙන් අපේක්ෂකයෙකු සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙකු වශයෙන් තවත් අපේක්ෂකයන් කිහිපදෙෙනකු ගැන සාකච්ඡාවක් තිබුණ ද සිකුරාදා (26) සවස් වෙනවිටත් ඔවුන්ගේ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට (29) දින එම පක්ෂය තීන්දුවක් ගැනීමට නියමිත බව පත්‍රය මුද්‍රණය වෙන අවස්ථාව වෙද්දී දැනගන්නට ලැබිණි. මේ අතර සර්ව ජන බලය සන්ධානයේ අපේක්ෂකයා අගෝස්තු 04 දින ප්‍රකාශයට පත්කෙරෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
නාමයෝජනා භාර දීමට පෙර පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් 50,000 ක් ද සෙසු අපේක්ෂකයන් රුපියල් 75,000 ක මුදලක් ද ඇප වශයෙන් තැන්පත් කළ යුතු බවත්, පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා ලබන අපේක්ෂකයන් හැර සෙසු අපේක්ෂකයන් ඇප මුදල් භාර දීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට හෝ මන්ත්රීවරයෙකුව සිට බවට හෝ පාර්ලිමේන්තු මහලේකම්රයාගේ අස්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්ය බවත් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ. නාමයෝජනා භාර ගන්නා දිනය වෙනවිට අපේක්ෂක ලැයිස්තුව තවත් දිගු වීමට ඉඩ ඇත.
1982 සිට 2019 දක්වා ජනාධිපතිවරණ අටක් පවත්වා ඇති අතර වැඩිම අපේක්ෂකයන් ගණනක් තරග කළේ 2019 ජනාධිපතිවරණයේදී ය. එම මැතිවරණයේ දී අපේක්ෂකයෝ 35ක් තරග කළහ.
1982 ඔක්තෝබර් 20 වැනි දින පැවති පළමු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 6 ක් තරග කළහ. එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එච්. එස්. ආර්. බී. කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර, අකිල ඉලංගෙයි දෙමළ කොංග්‍රසයේ ජී. ජී. පොන්නම්බලම්, ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහ නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර යන අය තරග කළහ. 1988 දෙසැම්බර් 19 වැනි දින පැවැති දෙවැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ තුන් දෙනෙක් තරග කළහ. එක්සත් ජාතික පක්ෂයේ නායක රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකර යන අය ඉදිරිපත් වූහ.
1994 නොවැම්බර් 09 වැනි දින පැවැති තුන්වැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 6 දෙනෙක් ද, 1999 දෙසැම්බර් 21 වැනි දින පැවති සිව්වැනි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ 13 දෙනෙක් ද, 2005 නොවැම්බර් 17 වැනි දින පවත්වන ලද පස්වැනි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 13 දෙනෙක් ද, 2010 දී පවත්වන ලද 6 වැනි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 22ක්ද 2015 දී පැවැති හත් වැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 19 දෙනෙක් ද, 2019 දී පැවැත්වුණු අට වැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 35 දෙනෙක් ද තරග කළහ.