(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පවත්වන්නේද නැතිනම් කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යළිත් මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.
මේ තත්ත්වය තුළ පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට හැකිවේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් ඇතිව තිබෙන බවද දැන ගන්නට තිබේ.
පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් කියා සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇත්තේ පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම යැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම මත ගැටුම පැහැදිලිව පෙනෙන්නට තිබූ බව වාර්තා වේ.
පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා එම පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊට දැඩි විරෝධය පළකර ඇතැයිද වාර්තා විය.
මේ අතර පළාත් සභා ඡන්දය පැරැණි මනාප ක්‍රමයට පවත්වන්නේද නැතිනම් කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ලබන 6 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමටද තීරණය කර ඇත.
පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැරැණි මනාප ක්‍රමයට පවත්වන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න මහතා ගිය බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රකාශ කළේය. පළාත් සභා ඡන්දය කුමන ක්‍රමයකට පැවැත්වුවද ඒ සඳහා පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට ආණ්ඩුවට සිදුවනු ඇත.