බලය අල්ලන්න පක්ෂ තුනේම රහස් සැලසුම්


(අජන්ත කුමාර අගලකඩ)  

තම තමන්ගේ බලය පෙන්වීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම වෙන වෙනම මෙහෙයුමක යෙදී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධතා පවත්වන ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම මෙහෙයුමට එක්ව සිටින බව දැන ගන්නට ඇත.  


ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහාය ඇතිව ආණ්ඩුවක් හදන්නට යන බවට ගිය සතියේ පැතිර ගිය ආරංචියත් සමග එක්සත් ජාතික පක්ෂය ද අයවැය ජයග්‍රහණය කරමින් තනි ආණ්ඩුවක් හැදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසකගේ සහාය ලබා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බව වාර්තාවේ.  මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම ආණ්ඩුවක් හැදීමේ රහසිගත මෙහෙයුමක් ගිය සතිය වන විටත් ආරම්භ කර තිබිණි.  

 

ඒ අනුව මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂයටත්, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තීරණාත්මක සාධකයක් වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.  


ශ්‍රීලනිප එජාප හවුල් ආණ්ඩුවේ සිවුවැනි අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර එහි අවසන් ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වේ.  


මෙවර අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අසනීපයකට ප්‍රතිකාර ගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා පිටරට යාමද ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ ඇත.