(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර පවතින මත ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය මේ වනවිට එළියට පැමිණ ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය බැංකු දෙකේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම විසුරුවා හරිනු ලැබීමත්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇතිව තිබෙන මත ගැටුමත් එම දේශපාලන අර්බුදය පෙන්නුම් කරන අලුත්ම සිදුවීම් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මහජන බැංකුව සහ ලංකා බැංකුව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා යටතේ පවතින ආයතන වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මලික් සමරවික්‍රම ඇමැතිවරයා යටතේ පවතින ආයතනයකි.
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතන තුනේ අධ්යක්ෂ මණ්ඩල හදිසියේ විසුරුවා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂයද ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර තිබුණි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේද සහාය ඇතිව හවුල් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක සිටින නමුත් වරාය විෂය භාර ඇමැති මහින්ද සමරසිංහ මහතා ගිය බ්‍රහස්පතින්දා හදිසි මාධ්‍ය හමුවක් ද කැඳවා කීවේ නැගෙනහිර පර්යන්තය කිසිදු විදේශ රටකට නොදෙන බවය.
මේ තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඉදිරි සති කිහිපය තුළ දී ආන්දෝලනාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.