- ජනාධිපතිවරණයේදී දෙපක්ෂය එක්වෙයි
- බැසිල්-අමරවීර තවත් සාකච්ඡාවක
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයත් ශ්රී ලංකා පොදුජන පෙරමුණත් නිල නොවන මට්ටමින් එකඟතාවකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි
.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් බ්රහස්පතින්දා රාත්රියේ ජනාධිපති නිල නිවසේ පැවැති අතර එහිදී පැවැති තීන්දු තීරණ හෙළි නොකිරීමට දෙදෙනාම එකඟතාවකට පැමිණ ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා ශ්රීලනිප පත්කර ඇති කමිටුවට හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් මහින්ද අමරවීර මහතාගේ නිවසේ ඉකුත් බ්රහස්පතින්දා හැන්දෑවේ පැවැති අතර එම සාකච්ඡාව ජනාධිපතිවරයාත් විපක්ෂනායකවරයාත් කලින් දින හමුවී කර තිබූ සාකච්ඡාවේ ප්රතිඵලයක් ලෙස පැවැති බවද වාර්තා වේ.
ප්රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ඇති කරගෙන ඇති නමුත් ලකුණ සම්බන්ධයෙන් තවමත් එකඟතාවකට පැමිණ නැතැයි වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පේරුම මහතා විදේශගතව සිටින බැවින් දෙපාර්ශ්වයේ කමිටු දෙක අතර නිල සාකච්ඡා මේ වනවිට නතරවී ඇති අතර අලහප්පෙරුම මහතා දිවයිනට පැමිණි වහාම එම සාකච්ඡා යළි ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව මේ සතියේ පැවැත්වෙන දෙපාර්ශ්වයේ සාකච්ඡාවලදී ලකුණ සම්බන්ධයෙන් වන ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පක්ෂ දෙකේම නියෝජිතයෝ දෙදෙනෙක් පැවසූහ.