හෝටල්වල සංග්‍රහ පැවැත්වූ අයගේ මන්ත්‍රී පදවි අනතුරේ ?


ඡන්දයෙන් පසු උසාවියට දෙන්න පෙත්සම් ලැයිස්තුවකුත් හදයි

සුජිත් හේවාජුලිගේ
ජනතාව විශාල වශයෙන් තරු හෝටල්වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධුර  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ 
කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පැවසුවේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම 
සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක් ඉතිහාසය පුරාම ඇති බවයි. 

මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා  ලිඛිතව දැනුම් දී ඇත.
ඉන් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයේ හෝටල් බව පැවසේ. එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත්  අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධුරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන  බලවේග අපේක්ෂකයකු මහනුවර  තරුපහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි  දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන්  සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
පසුගිය දිනවල  අවස්ථා කිහිපයකදීම මෙලෙස සංග්‍රහ ලබාදී ඇති බව ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මැතිවරණ නිලධාරීන් පිරිසක්  පසුගිය දිනක එම හෝටලය වැටලූ අවස්ථාවේදී අපේක්ෂකයා පස්ස දොරෙන් පලා ගොස් තිබිණැයි වාර්තාවේ.
ඡන්දදායකයන්ට හෝටල්වල සංග්‍රහ පැවැත් වූ සහ මැතිවරණ නීති කැඩූ  අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් සකස් කරගෙන යන බව එම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත්  සඳහන් කරයි.